කෙල්ලව සතුටු කරන්න තරම් කොල්ලෙක්ට ගටක් තියෙන්න ඕනේ – සංගීත් සතරසිංහ

0
28

“මැණිකගේ ආදරය තියෙන්නේ වෙනම තැනක. එයා හැම වෙලාවකම මාව ඔප දාන්න උත්සාහ කරපු කෙනෙක්. අද මම ඉන්නේ කලින් හිටපු තැන නෙමෙයි. මගේ ඇඳුම් පැලඳුම්, කතා කරන දේවල්, මම හිතන පතන විදිහ වගේම මගේ ජීවිතයේ ගොඩක් දේවල් මේ වෙද්දි මැණික හොඳ තැනකට වෙනස් කරලා තියනවා. අද මගේ වෙනස දකිද්දී මටම ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේ වෙනසක් මම තුළ ඇති කරන්න මැණික ලොකු කැපකිරීමක් කළා. ඒ වගේම හැම අවස්ථාවකදිම එයා මට ආදරය වගේම ගෞරවයත් අඩුවක් නැතුව දුන්නා. මම ජීවිතයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දීලා තියෙනවා. එයා ඒ වගේ අත්දැකීම්වලට මුහුණ දීලා නෑ. ඒ වුණත් මම වෙනුවෙන් අපේ ආදරය වෙනුවෙන් මැණික ලොකු කැපකිරීම්, දරා ගැනීම් කරලා තියනවා. මගේ ජීවිතයේ මට ගොඩක් දේවල් ලැබුණේ මැණික නිසා. මම එයාට ගොඩක් ආදරෙයි…”

සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගම කියලා කියන්නේ මේ දවස්වල අතිශයින් ජනප්‍රිය ආදරණීය චරිත දෙකක්. සංගීත්-දිනිති ආදර කතාව ගැන දැන් නොදන්න කෙනෙක් නැති තරම්. ඒ නිසාම ඔවුන් ප්‍රේමවන්තයන් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කොහොම වුණත් සංගීත්-දිනිති ආදර කතාව ගැන නිතර නිතර සමාජ මාධ්‍ය තුළින් පවා විවිධ තොරතුරු හුවමාරු වෙනවා. තවත් විදිහකට කියනවා නම් දැන් සංගීත් දිනිති ආදර කතාව දවසින් දවස අලුත් ප්‍රවෘත්ති මවන උණුසුම් මාතෘකාවක් බවට පත්වෙලා.

බොහෝ දෙනෙක් මේ ආදරණීය ප්‍රේමවන්තයන් දෙපළට සුබ පැතුම් එකතු කරනවා. ඒ වගේම සංගීත්-දිනිති කියලා කියන්නේ හොඳින්ම ගැළපෙන ආදරණීය කපල් එකක් කියලා බොහෝ දෙනෙක් කියනවා. මේ අතර ඉතින් සංගීත්ට දිනිතිට දොස් කියන පිරිසකුත් නැතුවාම නෙමෙයි.

ඉතින් මේ විදිහට කාගේත් අවධානය දිනා ගත්ත,බොහෝ දෙනෙක්ගේ කතාබහට මාතෘකාවක් වුණ, කලා ලෝකය හැඩ කරන ජනප්‍රිය රංගන ශිල්පියාගේ සහ රංගන ශිල්පිනියගේ ආදර කතාව ගැන කතා කරන්න සංගීත් සතරසිංහට අපි ‘පිනිපලස’ පිළිසඳරට ආරාධනා කළා.

සංගීත් කියලා කියන්නේ ආදරය සහ විවාහය නිසා එක් කාලයකදී ජීවිතයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දුන්න කෙනෙක්. ඒත් දිනිති මුණගැහුණාට පස්සේ සංගීත්ගේ ජීවිතය ගොඩක් වෙනස් වුණා කියලා සංගීත් කියනවා. මීට ටික කාලයකට කලින් සංගීත් දිනිති එකතු වෙලා සමාජ සත්කාර වැඩ කිහිපයක්ම කරලා ඒ වීඩියෝ සමාජ මාධ්‍යවලට එකතු කරලා තිබුණා. ඒ වීඩියෝ දැකපු බොහෝ දෙනෙක් සංගීත්-දිනිති ප්‍රේමවන්තයන්ද කියලා ප්‍රශ්න කරලා තිබුණා. කොහොම වුණත් මෑත කාලයේදී තමයි මේ යුවළගේ ආදර අන්දරය ගැන බොහෝ දෙනෙක් දැන ගත්තේ. ඉතින් කාලයක් තිස්සේ සංගීත් දිනිති ආදර කතාව රහසක් විදියට තියා ගත්තේ ඇයි කියලා සංගීත්ගෙන් අපි අහපු ප්‍රශ්නයට ඔහු දුන්නේ මේ වගේ උත්තරයක්.

“අපි අපේ ආදර කතාව රහසක් විදිහට කිසිම වෙලාවක තියා ගත්තේ නැහැ. දිනී සහ මම ආශ්‍රය කළේ හොඳම යාළුවෝ හැටියට. ඒ විදිහට යාළුවෝ හැටියට ඉද්දී කාලයක් යද්දී නොදැනීම අපි දෙන්නා අපි දෙන්නාට ආදරේ කරන්න පටන් අරන්. මැණිකට මාවත්, මට මැණිකවත් හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ තේරුම් ගැනීම නිසා අපි දෙන්නට හොඳ යාළුවෝ වගේම ප්‍රේමවන්තයන් වෙන්නත් පුළුවන් වුණා. දැන් ඉතින් අපේ ආදර කතාව ගැන හැමෝම වගේ දන්නවා.”

සංගීත්-දිනිති ආදර කතාව පටන් අරගෙන තිබුණේ ඒ විදිහට. දැන් මේ ආදරණීය යුවළ එකතු වෙලා සමාජ සත්කාරක වැඩසටහන් කරනවා. ඔවුන් ඒ වැඩසටහන්වල වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවලටත් එකතු කරනවා. සංගීත් දිනිති එකතු වෙලා මේ විදියට දිගින් දිගටම සමාජ සත්කාර වැඩ කටයුතුවල නිරත වීම බොහෝ දෙනෙක් අගය කරනවා. නමුත් ඒ වැඩසටහනට වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවලට එකතු කිරීම ගැන කිහිප දෙනෙක් මේ යුවළට දෝෂාරෝපණය කරලාත් තිබුණා. ඉතින් ඒ ගැනත් සංගීත්ගෙන් අහන්න අපි අමතක කළේ නැහැ.

“මම මැණිකගේ යාළුවෙක් වෙන්න කලින් ඉඳලම මැණික සෝෂල් වැඩ කරලා තියනවා. ඉතින් අපි දෙන්නා යාළුවෝ විදිහට ආශ්‍රය කරද්දිත්, ආදරය කරන්න පටන් ගත්තාට පස්සේත් වැඩි වැඩියෙන් අනිත් අයට උදව් කරන්න හිතුවා. මේ වෙද්දි අපි දුප්පත් අසරණ බොහෝ දෙනෙක්ට පිහිටවෙලා තියෙනවා. දුෂ්කර ප්‍රදේශවල ජනතාවට පාසල් දරුවන්ට වගේම අසරණ සතුන්ටත් උදව් උපකාර කරලා තියෙනවා. ඒ කරන දේවල්වලින් ගොඩක් අපි ප්‍රසිද්ධ කරලා නැහැ. ඒත් දැන් සංගීත් දිනී ව්ලොග් හරහා අපි කරන සමාජ සත්කාරක වැඩසටහන් අපි සමාජගත කරනවා. පිරිසක් ඒවට දෝෂාරෝපණය කරනවා තමයි. ඒත් අපෙන් ආදර්ශයක් අරගෙන තවත් පිරිසක් අසරණ අහිංසක මිනිස්සු වෙනුවෙන් උපකාර කරන්න පෙලඹෙනවා නම් අපිටත් සතුටක් ලැබෙනවා. අපි අදත් හෙටත් අපිට පුළුවන් විදිහට අනිත් අයට උදව් කරනවා. ඒ වගේ දේවල්වලට විවේචන එන එක සාමාන්‍ය දෙයක්. එවැනි විවේචන මමවත් මැණිකවත් ගණන් ගන්නේ නැහැ. අපි කරන්නේ හොඳ දෙයක් කියලා අපේ හෘද සාක්ෂිය දන්නවා නම් ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ.”.

ඒ වගේම පුළුවන් හැම අවස්ථාවකදීම තව කෙනෙක්ට පිහිට වෙන්න කියලත් සංගීත් ආදරණීය තරුණ පරපුරෙන් ඉල්ලීමක් කරන්නත් අමතක කළේ නැහැ.

මේ අතර පහුගිය දවසක සංගීත් දිනිතිට දුන්න ගිෆ්ට් එකක් ගැන වගේම වැලන්ටයින් සප්‍රයිස් එක ගැනත් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වුණා. ඒ ගැන සංගීත් කිව්වේ මෙන්න මේ වගේ කතාවක්…

“දිනී කියන්නේ ස්ථාවර වුණු කෙනෙක්. හොඳට ඉගෙනගෙන රස්සාවක් කරලා තනියම ගොඩනැගුණු කෙනෙක්. එයාට කවුරුත් අල්ලගෙන ගොඩ යන්න වුවමනාවක් නැහැ. මගේ ජීවිතයේ මට හම්බුණු ගොඩක් අය මගේ ළඟ රැඳුණේ මගෙන් දේවල් බලාපොරොත්තුවෙන්. මගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මාව තේරුම් අරගෙන මට ආදරේ කළේ දිනී විතරයි. එයා කලින් ඉඳන් වගේම අදටත් කාගෙවත් මත යැපෙන කෙනෙක් නෙමෙයි. කොහොම වුණත් දිනීගේ ප්‍රේමවන්තයා හැටියට මම මගේ යුතුකම් ඉෂ්ට කරනවා. එයාට තෑග්ගක් දෙන එක surprise කරන එක මට ලොකු සතුටක්. එයත් ඒ දේවල් ආදරයෙන් සතුටින් භාරගන්නවා. කෙල්ලෙක් එපා කිව්වත් නැතත් ඒ කෙල්ලව සතුටු කරන්න තරම් කොල්ලෙක්ට ගටක් තියෙන්න ඕනේ.”

සංගීත් දිනිති ගැන කතා කරන්නේ පුදුම තරම් ආදරයකින් වගේම ගෞරවයකින්. දිනිති වෙනුවෙන් සංගීත්ගේ හිතේ තියෙන ආදරය සහ ගෞරවය කිසිම දවසක අඩු වෙන්නේ නැහැ කියලා සංගීත් කියන්නේ දිනිති ඒ තරම්ම සංගීත්ගේ ජීවිතයට වටිනා කෙනෙක් කියන කතාව යළිත් වතාවත් සිහිපත් කරමින්. කොහොම වුණත් කුඩා කාලයේ ඉඳලම දිනිතිට ලෝකේ වටේ යන්න ලොකු වුවමනාවක් ආසාවක් තිබුණා කියලා ඇය මීට කලින් අපිට කියලා තියෙනවා. ඉතින් ලෝකෙ වටේම යන්න දිනිතිට තියෙන හීනයට සංගීත්ගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද කියලත් අපි සංගීත්ගෙන් අහලා බැලුවා.

“දිනීට එයාගෙ හීනවලට යන්න මම උපරිම සහයෝගය ලබා දෙනවා. මම මගේ ජීවිතයේ වැඩිපුරම කාලය ගත කරන්න කැමැති දිනී එක්ක. මගේ අම්මා තාත්තට පස්සේ මගේ ජීවිතේ අංක එක වෙලා ඉන්නේ මැණික. අම්මට තාත්තට පස්සේ මගේ ජීවිතේට ආදරේ කරන එකම කෙනා එයා. එයා වෙනුවෙන් මට ඕන දෙයක් කරන්න පුළුවන්. අපි දෙන්නා හිතන පතන විදිහ, කැමැති දේවල් ගොඩක් වෙලාවට සමානයි. ඒ නිසා අපි දෙන්නට එකතු වෙලා දුර ගමනක් යන්න පුළුවන්. ඉතින් දෙන්නම එකතුවෙලා travel කරනවා.”

මේ දිනවල නිර්මාණ කිහිපයකම රූපගත කිරීම් නිසා දිනිති වගේම සංගීතුත් තරමක් කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ අතරතුර වුණත් පිනිපලස පිළිසඳරට වේලාවක් වැය කරන්න සංගීත් අමතක කළේ නැහැ. බොහෝ දෙනෙක්ගේ අවධානය ආදරය දිනාගත්ත බොහෝ දෙනකුගේ කතාබහට ලක්වුණු මේ ආදරණීය යුවළ නුදුරේදීම විවාහ වෙන්න තීරණය කරලා කියලාත් අපට දැනගන්න ලැබුණා. ඒ ගැන වැඩි විස්තර ඉක්මනින්ම ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියන්නත් සංගීත් පොරොන්දු වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here