ක්ෂය රෝගය පිළිබඳව ඔබත් දැනුවත් ද?

0
28

● ක්ෂය රෝගය යනු කුමක්ද?

ක්ෂය රෝගය යනු මයික්‍රෝ බැක්ටීරියම් ටියුබකියුලෝසිස් යන බැක්ටීරියාව මගින් වැළඳෙන ආසාදිත රෝගයක්. බොහෝ විට මෙය පෙණහලු ආසාදනය කරන නමුත් නියපොතු සහ හිස කෙස් හැර ශරීරයේ අනිකුත් අවයවයන් ද ආසාදනය විය හැකියි.

● ක්ෂය රෝගය බෝවන්නේ කෙසේද?

පෙණහලු ක්ෂය රෝගියෙක් කහිනවිට, කිවිසුම් හරිනවිට, සිනාසෙන හා කතා කරනවිට ක්ෂය රෝග බැක්ටීරියා බිඳිති වශයෙන් වාතයට මුදාහැරේ. මෙම බැක්ටීරියා සහිත බිඳිති නිරෝගී පුද්ගලයෙක් ආශ්වාස කළවිට ඔවුන් ද ආසාදනයට ලක් වේ.

● ක්ෂය රෝගය වැළඳීමේ වැඩි අවදානම් තත්ත්වයක් පවතින්නේ කාහට ද?

එච්. අයි. වී./ එඩ්ස් රෝගීන්, දියවැඩියාව හා වකුගඩු රෝග වැනි නිධන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්, අවයව බද්ධ කිරීම/ පිළිකා තත්ත්වය නිසා දිගු කාලීනව ප්‍රතිකාර ලබාගන්නා, මත්ද්‍රව්‍ය, මත්පැන් හා දුම්පානය සඳහා ඇබ්බැහිවූවන්, වයස අවුරුදු 5ට වඩා අඩු දරුවන්/ මහලු වියේ පසුවන්නන්, මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන්නන්.

● ක්ෂය රෝගයේ ලක්ෂණ මොනවා ද?

සති දෙකකට වැඩි කැස්ස, රාත්‍රී කාලයේ ඇති වන මද උණ, ශරීරයේ බර අඩු වීම, සෙම සමග රුධිරය පිටවීම, කෑම අරුචිය, හුස්ම ගැනීමේ අපහසුව/ පපුවේ වේදනාව

● ක්ෂය රෝගය හඳුනාගන්නේ කෙසේද?

ක්ෂය රෝගය හඳුනාගන්නේ එක්ස්රේ හා සෙම පරීක්ෂාවන් පදනම් කර ගැනීමෙන්. සෙම පටල පරීක්ෂාව මෙන්ම වඩාත් සංවේදී හා තාක්ෂණයෙන් උසස් ක්ෂය රෝග පී. සී. ආර්. පරීක්ෂාව හා ක්ෂය රෝග බැක්ටීරියා රෝපණය මේ සඳහා දැනට හඳුන්වා දී තිබේ.

● ක්ෂය රෝගීන් කලින් හඳුනාගෙන ප්‍රතිකාර නොකිරීම නිසා කුමක් සිදු වන්නේද?

රෝගය දරුණු තත්ත්වයට පත්විය හැක අතර, මරණයෙන් පවා කෙළවර විය හැක. ප්‍රතිකාර නොකර සිටීමෙන් එක් පෙණහලුගත ක්ෂය රෝගියෙක් දළ වශයෙන් නිරෝගී පුද්ගලයන් 10 ත් 15 ත් අතර ප්‍රමාණයකට ආසාදනය කරනු ලැබේ.

● ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැකිද?

නිසි ප්‍රතිකාර මාස 6ක් අඛණ්ඩව ගැනීමෙන් ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැකිය.

● ක්ෂය රෝගියෙක් ප්‍රතිකාර පැහැර හැරියහොත් කුමක් සිදුවේද?

රෝගය සුව නොවේ. රෝගය බෝ කරන්නකු බවට පත් වේ. සුව කළ නොහැකි ඔහු ඖෂධ ප්‍රතිරෝධී ක්ෂය රෝගී තත්ත්වයට වුව ද පත්විය හැක.

● රෝගය පැතිරීම වළක්වා ගැනීමට ඔබට උදව් කළ හැක්කේ කෙසේද?

සැක සහිත රෝග ලක්ෂණ සහිත නම් වෛද්‍යවරයකු වෙත/ ළය රෝග සායනයට හෝ සෙම පටල පරීක්ෂණාගාරයකට ගොස් පරීක්ෂා කර ගන්න. ක්ෂය රෝගීන් කොන් නොකරන්න. කහිනවිට, කිවිසුම් යවනවිට, ලේන්සුවකින් මුව ආවරණය කර ගන්න, තැන තැන කෙළ ගැසීමෙන් වළකින්න, මත්ද්‍රව්‍ය, මත්පැන් හා දුම්වැටි භාවිතයෙන් වළකින්න. දියවැඩියාව, ඇදුම වැනි කල් පවතින රෝග තත්ත්ව ප්‍රතිකාර මගින් නිසි පරිදි පාලනය කරගන්න. ක්ෂය රෝගය පිළිබඳව අන් අයව දැනුවත් කරන්න. ක්ෂය රෝගීන්ට නිසියාකාරව ප්‍රතිකාර ගැනීමට සහාය වන්න.

● ක්ෂය රෝගීන් සංඛ්‍යාව පිළිබඳ ලංකාවේ තත්ත්වය කොහොම ද?

2022 වර්ෂයේ දී දිවයිනෙන්ම ක්ෂය රෝගීන් 8322 දෙනකු හඳුනාගෙන තිබෙනවා. එයින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. ඒ සියයට 46ක ප්‍රමාණයක්. ඒ වගේම හඳුනා නොගත් ක්ෂය රෝගීන් 5800ක් සමාජය තුළ නිදැල්ලේ සිටිනවා. ඒ වගේම ළමා ක්ෂය රෝගීන් 2022 දී 187ක් හඳුනාගෙන තිබෙනවා.

● ලංකාවේ ක්ෂය රෝගී සේවා මධ්‍යස්ථාන කීයක් තිබෙනවා ද?

මධ්‍යස්ථාන 26ක් තිබෙනවා. ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල වැලිසර පිහිටා තිබෙනවා. තව අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, කොළඹ මධ්‍යම ළය චිකිත්සාගාරය, ගම්පහ, හම්බන්තොට, යාපනය, කල්මුණේ, කළුතර, මහනුවර, කෑගල්ල, කිළිනොච්චිය, කුරුණෑගල, මන්නාරම, මාතලේ, මාතර, මොනරාගල, මුලතිව්, නුවරඑළිය, පොලොන්නරුව, රත්නපුර, ත්‍රීකුණාමලය, වව්නියාව, පුත්තලම යන මධ්‍යස්ථානවලින් ප්‍රතිකාර ගතහැකිය.

මෙම මස 24 වැනිදාට යෙදී ඇති ලෝක ක්ෂය රෝග දිනය නිමිත්තෙන් කොළඹ සෞඛය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්ෂය රෝගය මර්දන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත, ළය රෝග පිළිබඳ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර, ක්‍ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය මිසායා කාදර් යන මහත්ම මහත්මීහු පැවැත්වූ දේශන ඇසුරිනි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජාතා ජයරත්න

වෛද්‍යවරයා අතිරේකය සංස්කරණය – උපාලි ද සේරම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here