චතුරිව මරාදැමූ පෙම්වතා හෙළිකල අමුතුම හතරේ කතාව…

0
27

“සිව්දිනක් සැළසුම් කොට සිව් දිනක් උත්සහ කොට සිව් තැනකට ගෙනගොස් පෙම්වතිය ඝාතනය කොට වාහන හතරකින් මාරුවෙන් මාරුවට පළාගිය පෙම්වතා සවස හතරකට පොලිස් අත්අඩංගුවට…”

ප්‍රේමයයි වෛරයයි අතර වෙනස කෙස් ගසක තරම් වන වෙනසකි. ඒ බව පසක් වන සිදුවීම් අපට සමාජය තුළ නිතර අසන්නට දකින්නට ලැබෙති. ඒ අතර හද කම්පා වන තරමේ සිදුවීම්වලද අඩුවක් නැති තරම්ය. කිරිඇල්ලේ පාසලකදී සිසුවෙක් සිසුවියකට පාසලේ පන්ති කාමරය තුළදී පිහියකින් ඇන කළ ඝාතනය සමාජයේ අදටත් කථාබහට ලක් වන ප්‍රේමය සහ වෛරයේ තරම කියා පාන කුරිරු සිදු වීමකි. ඒ ගොන්නට අලුතින්ම එක් වූයේ කොළඹ සරසවියේ සිසුවෙක් සිය පෙම්වතිය වූ සරසවි සිසුවියගේ ගෙල කපා ඝාතනය කිරීමය.

මෙම ඝාතනය සිදුවන්නේ පසුගිය 17 වෙනිදාය. ඒ කොළඹ තුරඟ තරග පිටියේදීය. මෙම ඝාතනය ගැන සමාජයේ කථාබහ බොහෝය. පෙම්වතිය වෙනතක් බලා ගැනීම නිසා පෙම්වතා විසින් පෙම්වතිය මරා දැමූ බවට වූ ව්‍යාජ තොරතුරු ද සමාජය තුළ ඇත්තේ මුල් බසිමිනි. එහෙත් සැබෑව එය නොව, ඇය කිසිවිටකත් පෙම්වතාට පිටුපා නොතිබුණි. හැමදෙයක්ම සිදුවී තිබුණේ පෙම්වතාගේ මානසික රෝගී තත්ත්වයක් හේතුවෙනි. පෙම්වතා හැමවිටම බැලුවේ සිය පෙම්වතිය දෙස සැකයෙනි. ඇය වෙන අයකු අත ගනීවි යැයි පෙම්වතා සිටියේ බියකිනි. හදවතින්ම ආදරය කළ සිය පෙම්වතියව මරා දමන්නේ වෙන කෙනකුට ඇයව අයිති කර ගන්නට ඉඩ නොතබමිනි.

මෙසේ සිය පෙම්වතියව ගෙල කපා මරා දමන්නට තරම් කුරිරු වූ පෙම්වතා නමින් පසිදු චතුරංගය. කොළඹ විශ්වවිද්‍යාලයේ ඔහු අධ්‍යාපනය ලැබුවේ විද්‍යා පීඨයේ තෙවැනි වසරේ සිසුවෙක් ලෙසිනි. චතුරංග අතින් ඝාතනය වන්නේ චතුරි හංසිකාය. ඇය ද කොළඹ විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ සිසුවියකි.

පසිදු ජීවත් වූයේ වැල්ලම්පිටියේ කොටුවිල උස්වත්ත පාරේය. කුඩා නිවෙසක සිය මවුපියන් සහ එකම නැඟණිය සමඟ ගත කළ ජීවිතය සැප පහසුකම් පිරුණු එකක්ද නොවීය. තේ කොළ කර්මාන්ත ශාලාවක සේවයට යන මව සහ ත්‍රිරෝද රථයක් පදවමින් එදා වේල සරිකර ගන්නට වෙර දරන පියාට අනාගතය ගැන තිබුණු ලොකුම බලාපොරොත්තුව වූයේ චතුරංගය. විඳින්නට හැකි හැම දුකක්ම විඳිමින් ඒ අය චතුරංගව විශ්වවිද්‍යාලයට යැවුවේ සිය නැඟණියගේත් තමන්ගේත් එකම ගැලවුම්කාරයා ඔහු යැයි සිතාගෙනය. අවසානයේදී සිදු වන්නේ ඒ අයගේ සියලු බලාපොරොත්තු දෑස් පනාපිටම සුණු විසුනු වී යාමය.

චතුරංග පාසල් අධ්‍යාපනය හදාරනු ලැබුවේ ඔහු පදිංචිව සිටින නිවසට ආසන්නයේ ඇති පළාත් පාසලකිනි. නැගණිය අදටත් ඒ පාසලේ අධ්‍යාපනය ලබන්නීය. මේ දෙදෙනාගේ ජීවිතය හැඩ ගැසී තිබුණේ පොතපතේම එළඹි සිටීමටය. බාහිර වැඩ ගැන ඒ අය වැඩි උනන්දුවක් නැති තරම්ය. පොත පතේ වැඩක් නොමැති හැමවිටම චතුරංග මුහුනු ඔබාගෙන සිටියේ පරිගණකයටය.

මේ අතර වැල්ම්පිටිය, කොළොන්නාව, කොටිකාවත්ත, කැලණිය සහ කිරිබත්ගොඩ පැත්තේ නිවෙස්වලට යමින් චතුරංග සාමාන්‍ය පෙළ සිසුන්ට ගණිතය විෂය පවා උගන්වමින් උපකාරක පංති ගුරුවරයකුගේ භූමිකාවට ද පණ පොවන්නට ද ගත්තේය. ඒ මාපියන්ට බරක් නොවී සිය වියදමට කීයක් හරි සොයා ගැනීමේ අපේක්ෂාව ඇතිවය.

චතුරි හංසිකා ද අධ්‍යාපනික යූ- ටියුබ් චැනලයක් පවත්වාගෙන ගියේ ඇය ද ගුරු භූමිකාවකට පණ පොවමිනි. ඇය එම චැනලය පවත්වා ගෙන ගියේ මුදල් සෙවීමේ අරමුණ ඇතිව නොව, සේවයක් ලෙසිනි. ඒ ඇයට මුදල් හදල්වලින් චතුරංගට මෙන් අහේනියක් නොවූ බැවිනි.

නම්වලින් ද කියුම් කෙරුම්වලින්ද එකිනෙකාට සමානකම් ඇති මේ යුවල එකිනෙකා මුණ ගැසෙන්නේ කොළඹ සරසවි විදු පියසේදීය. ඒ 2019 වසරේදී ඔවුන් සරසවි බිමට මුලින්ම පා තැබූ මොහොතේදීය. එදා චතුරිගේ රුව දුටු මුල් දිනයේදීම ඇය කෙරෙහි ආදරයෙන් බැඳුණ ද ඇයට ආදරය ප්‍රකාශ කරන්නට තරම් හයියක් චතුරංගට නොවීය. ඒ ආදරය ඔහු සිතේ තද කරගෙන සිටියේ ඒකපාර්ශ්වීයව ඇයට පෙම් කරමිනි. ඒ ආදරය ඔහු ඇයට ප්‍රකාශ කරනුයේ 2020 වසරේදීය. ඇගෙන් ඊට මුලදී යහපත් ප්‍රතිචාරයක් නොවූවත් 2020 වසරේ මාර්තු 20 වෙනිදා වන විට ඔවුන් සිටියේ පෙම්වතුන් බවට පත් වෙමිනි.

චතුරංග සිය ජීවිතයේ හැමදෙයක්ම චතුරිට කීවාය. තමන් වත්පොහොසත්කම් නොමැති දුප්පත් පවුලක අයෙක් බව පමණක් නොව, වරක් පාසල් ප්‍රේමයෙන් පරාජයට පත්ව ගෙල වැලලා ගෙන සිය දිවි හානිකර ගැනීමට ගොස් ජීවිතයත් මරණයත් අතර සටනකින් පසු ජීවිතය ජීවත් කරගත් හැටි ගැන පවා ඔහු ඇයට කීවේය. එම සිදු වීමෙන් පසු තමා මානසික රෝගියෙක් බවට පත්ව සිටින බව ද නොසඟවා කියන්නට වූයේ 2019 වසරේ මාර්තු මාසයේ සිට මානසික රෝගයට කොළඹ ජාතික රෝහලෙන් හා අංගොඩ මානසික රෝහලෙන් දීර්ඝ කාලීන ප්‍රතිකාර ලබන බව ද කියමිනි.

මේ දේවල් චතුරි එතරම් තැකුවේ නැත. ඇයට මෙහි බරක් පතලක් ගැන දැනීමක් ද නොවීය. දෙදෙනා ආදරයෙන් වෙළී සිටියේ දෙදෙනාට දෙදෙනා නැතිවම බැරි වන තරමටය. එහෙත් ඒ ආදරය කොතරම් කාලයක් සතුටින් තිබුණේදැයි ඇත්තේ ගැටලුවකි. සරසවි බිමේ සිසුන් සමඟ චතුරි ඕනෑවට වඩා කුලුපග වෙමින් කතාබහේ නිරතවන විට චතුරංගට එය එතරම් රිස්සුවේ නැත. ඔහුගේ මතකයට නැඟෙන්නේ පාසල් ප්‍රේමය. ගණිත අංශයෙන් උසස් පෙළ විභාගය ඒ සාමාර්ථ්‍යයක් සහ බී සාමර්ථ දෙකක් ලබා ගෙන විශ්වවිද්‍යාල වරම් ලබාගෙන සිටි තමාව අත්හැර පළමු පෙම්වතිය වෙතත් තරුණයෙක් සමඟ පෙමින් වෙළුණු හැටි චතුරංගගේ මනස වියවුල් කරන්නට ගත්තේය. ඒ ආකාරයටම චතුරිව තමාට අහිමි වේ යැයි කියා මනස ඔහුට වධ දෙන්නට ගත්තේය. චතුරිගේ නිදහසට ඕනෑවට වඩා චතුරංගගෙන් බලපෑම් එල්ල වන්නට ගත්තේ ඒත් සමඟිනි. ඒ චතුරිට පිරිමි ළමයකු දිහා ඇහැක් ඇර බලන්නටවත් බැරි තරමට එය ඔඩු දුවන්නට විය.

මේ හැම දෙයක්ම චතුරි ඉවසාගෙන සිටියේ චතුරංග සිටින මානසික තත්ත්වය ගැන යම් වැටහීමක් ඇයට තිබුණු බැවිනි. එය ඉවසා ගැනීමට නොහැකි තැනට පත්වන විට චතුරි ඔහුට යෝජනා කරනුයේ කෙටි කලකට දෙදෙනා අතර ඇති සම්බන්ධය නතර කර දමන්නටය. දෙදෙනාගේ එකඟත්වය මත ඔවුන් දෙදෙනා සිය පෙම් සබඳතාව අත්හැර දමන්නේ වසරක ප්‍රේමයකට නැවතීමේ තිත තබමිනි. ඒ යැයි කියා චතුරි වෙන පෙම්වතෙක් ද චතුරංග වෙන පෙම්වතියක් ද සොයා ගියේ නැත. පෙම්වතුන්ගේ භූමිකාවට සමු දුන්නද ඔවුන් හොඳ මිතුරන් ලෙස උපරිමයෙන් හැසිරෙන්නට මෙහිදී වග බලා ගත්තේය. ඒ යැයි කියා මාස හයකට වඩා වැඩි කාලයක් ඔවුන් දෙදෙනාට එසේ සිටින්නට හැකියාවක් නොවීය.

චතුරංගගේ අසනීප තත්ත්වය උත්සන්න වන්නේ ඔය අතරතුරදීය. ඒ නිසාම පසුගිය වසරේ අගෝස්තුවේ චතුරංගට සිදු වන්නේ අංගොඩ මානසික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නටය. චතුරංගගේ අසනීප තත්ත්වය ගැන චතුරිට යම් වැටහීමක් ලැබෙන්නේ එවිටය. මෙතරම් බරපතළ අසනීප තත්ත්වයකින් චතුරංග සිටින බව ඒ වන තුරුම ඇය දැන නොසිටියාය. එය දැන ගැනීමෙන් පසු ඇයට ඇතිවන්නේ දැඩි බියකි. අංගොඩ මානසික රෝහලේ සිට පැමිණි චතුරංගගේ දුරකතනයට කෙටි පණිවුඩයක් මගින් දෙදෙනා අතර ඇති සම්බන්ධය නතර කිරීමට චතුරි යෝජනාවක් කරන්නේ එබැවිනි.

එහිදී කලබලයට පත්වන චතුරංග ඇයට ආයාචනා කරනු ලබන්නේ තමාව අත්හැර නොයන ලෙසය. තමා මුළු හදවතින්ම ඇයට ආදරය කරන බව කියන්නට වූයේ හැඬූ කඳුළෙනි. ප්‍රථම ප්‍රේමය අහිමි වී යෑමෙන් පසු ජීවිතයම එපා වී සිය දිවි හානිකර ගැනීමට බාල්කයක එල්ලුණු තමා මෙවර නම් ජීවිතය නැති වෙන්නම නැති කර ගන්නා බව ද ඇයට කීවේය.

චතුරංග ඒ වන විට සිටින මානසික තත්ත්වය ගැන චතුරිට ඒත් එක්කම ඇති වන්නේ ඉතා හොඳ අවබෝධයකි. ඔහු ජීවිතය නැතිකර ගතහොත් සිදුවන්නේ එහි චෝදනාව තමා මත පැටවීම බව අවබෝධ කරගත් ඇය තීරණය කරනුයේ චතුරංග සමඟ තවදුරටත් පෙම්වතුන් ලෙස කාලය ගත කරන්නටය. සරසවියේ වෙනත් පෙම්වතුන් මෙන් සතුටින් කාලය ගත කරන්නට චතුරි කොතරම් උත්සාහ කළත් චතුරංග ගියේම වැරැදි මගය. ඇය සමඟ නිතරම ඔහු ගැටුම් ඇති කර ගත්තේය. ඔහු ඇය කෙරෙහි හැමවිටම බැලුවේ සැකයෙනි. ඇයට වෙනත් සම්බන්ධයක් ඇතැයි ඔහු සිතුවේය. චතුරංග දිනෙන් දින දරුණු වන විට චතුරිගේ මිතුරියන් ඇයට උපදෙස් දෙන්නට වූයේද මෙම සම්බන්ධය නොගැළපෙන එකක් බවය. ඒ යැයි කියා ඇය ඔහුව අත්හැර දැමුවේද නැත.

වෙනදාට සරසවි භුමියේ බංකුවක් මතට වී පෙම්බස් දොඩන්නට කැමැත්තක් දැක්වූ චතුරංග පසුගිය 17 වෙනිදා දේශන අවසන්ව ඇයව කැටුව යන්නේ නිදහස් චතුරශ්‍රයටය. ඒ ග්‍රහලෝකාගාරය පැත්තෙන් නිදහස් චතුරශ්‍රයට ඇතුළු වීමට ඇති මාර්ගය දිගේ දෑත් අල්ලා ගෙන ඇවිද යමිනි. මඳ වේලාවක් එහි ස්ථාන කිහිපයකම රැඳී සිටිමින් පෙම්බස් දෙඩූ ඔවුන් ඊළඟට එන්නේ තුරඟ තරඟ පිටිය අසලටය. ඒ එන්නේද පා ගමනින්මය. තුරග තරග පිටිය අසල ඇති නුග ගස යට ද මඳ වේලාවක් රැඳී සිටි ඔවුන් දෙදෙනා දෑත් අල්ලා ගෙන එතැනින් නැගිට පිය මනින්නේ ක්‍රීඩා පිටියේ ලකුණු පුවරුව අසලටය. මුළු රටේම අවධානය යොමු වූ සරසවි පෙමක අවසානයක් ලියැවෙන්නේ එතැනදීය. ඒ චතුරිව ඇගේ පෙම්වතා වූ චතුරංග අතින් ඝාතනය වීමෙනි.

චතුරිව ඔහු ඝාතනය කරනුයේ ගෙල කපාය. ඒ ලකුණු පුවරුව අසල පඩිපෙළ ලේ විලක් බවට පත් කරවමිනි. ඇගේ ඝාතකයා කවුරුන්දැයි පොලිසිය එදා හඳුනා ගනු ලබන්නේ චතුරිව ඝාතනය කළ චතුරංග ඔහු අත වූ ගමන් මල්ල ද තුරුලු කරගෙන දිව යන අයුරු ආරක්ෂක කැමරාවල සටහන්ව තිබී සොයා ගැනීමත් සමඟිනි. ඒ දෙදෙනා එදා ඊට මඳ වේලාවකට පෙර එතැනට අත් අල්ලා ගෙන ආ හැටි ද ඒ කැමරාවේම සටහන් වී තිබුණේය. ඒ අනුව ඝාතකයා චතුරංග බව පැහැදිලිවම හඳුනා ගන්නට පොලිසියට චතුරිගේ සරසවි මිතුරන්ගෙන් ද ලොකු සහායක් ලැබී තිබුණේය.

චතුරිව මරා දැමූ චතුරංග පලා ගියේ කොහේට ද, මෙම ඝාතනයට මුල කුමක්ද? උභතෝකෝටික ගැටලු රැසකට පිළිතුරු සොයන්නට පැවරී තිබුණේ කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන්ටය. ඒ සඳහා කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ සහාය ද කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන්ගෙන් ලැබෙන්නට ගත්තේය. චතුරංග ජීවත්වන නිවෙස සොයා ගෙන වැල්ලම්පිටියට යන්නේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකි. ඒ යන විට චතුරංග එහි රැඳී සිටියේ තෙතබරියන් වූ ඇඳුමෙන් සැරසීගෙනය. චතුරංගව එහිදී අත්අඩංගුවට ගන්නා කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඔහුව රැගෙන එන්නේ කුරුඳුවත්ත පොලිසිය වෙතය. චතුරිගේ ඝාතනය හා බැඳුණු කතාව එළියට ගැනීමට චතුරංගගෙන් ප්‍රශ්න කරන්නට ගන්නේ එහිදීය.

“ හිටි හැටියේම චූටි වෙනස් වුණා. චූටිට ඕනෙ වුණේ මගෙන් ඈත් වෙන්න. එයා පහුගිය ටිකේම හැසිරුණේ මට එයාව එපා වෙන විදිහටයි. ඒත් මට එයාව එපා වුණේ නැහැ. එයාව විතරමයි මට ඕනේ. මට ලොකු බයක් දැනුණා චූටි මාව දාල යයි කියල. මම හිතුවා එයාව මට අයිති වෙන්නේ නැතිව වෙන කිසිවකුටත් අයිති වෙන්න දෙන්නේ නැහැ කියල.“ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ චතුරංග හැමදෙයක්ම වමාරන්නට ගත්තේ එසේය.

චතුරංග සිය පෙම්වතිය වූ චතුරිව ඇමතුවේ චූටි යැයි කියාය. චතුරංග කියන්නට වූයේ චූටිට ඇති ආදරේ වැඩිකමට ඇයව මරා දැමූ බවය.

“චූටි හදිසියේම වෙනස් වුණේ මම පිස්සන් කොටුවේ නැවතිලා බෙහෙත් ගත්තට පස්සෙයි. මම හිතුවා එයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන මෙහෙම හැසිරෙනවද කියල. එහෙත් එහෙම දෙයක් මට හොයා ගන්න බැරි වුණා.” යැයිද චතුරංග පොලිස් නිලධාරීන් හමුවේ කියන්නට වූයේ ඔහු මිනියක් මරා පොලිස් අත්අඩංගුවේ සිටින සිරකරුවෙක් ලෙස නොව, සාමාන්‍ය විදිහට හැසිරෙමිනි. චතුරිව මරා දැමීම ගැන ඔහුට දුකක් වේදනාවක් පවා නොවීය. ඔහු හැසිරෙන්නට වූයේ එවැනි දෙයක් නොවූ ගානටය.

“ චූටි එන්න එන්නම මට එයාව එපා වෙන විදිහටයි හැසිරුණේ. මට පිස්සා කියන්නත් ගත්තා. ඒ වෙලාවට මට ලොකු වේදනාවක් හිතට එනවා. ඇයි එයා එහෙම මට කියන්නේ කියල. වෙන කවුරු කීවත් කමක් නැහැ. චූටි එහෙම කිවුවම මට දරා ගන්න බැරි වුණා. “ යැයිද චතුරංග පොලිස් නිලධාරීන් හමුවේ කියන්නට ගත්තේය.

චතුරංග කියන හැටියට චතුරි පරුෂ වචනයෙන්ද ඔහුට බැණ වැදීමට පවා මේ කාලය තුළ පෙලඹී ඇත. ඕයි යැයි කියා ද තමාට චතුරි අමතන බව චතුරංග කියයි. හැබැයි චතුරංග මේ කියන දේවල ඇත්ත නැත්ත තහවුරු කර ගන්න දැන් චතුරී ජීවතුන් අතර නැත. චතුරි මෙසේ ඔහුව අත්හැර යන තරමට නරක ආකාරයට හැසුරුණි නම් එදා ඇයව මරා දැමූ දින දෑත් පටලවා ගෙන ඇය ඔහු සමඟ සරසවි බිමේ සිට නිදහස් චතුරශ්‍රයටත් තුරඟ තරඟ පිටියටත් ඇවිද යන්නේ නැත.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ චතුරංග කියන ආකාරයට අනුව චතුරිව මරා දැමීමට ඔහුට සිතෙන්නේ තමා හැරුණු කොට වෙන අයකුට ඇයව හිමි නොවන්නටය. ඇයව මරා දැමීමට චතුරංග සැලසුම් කරන්නේ ඇයව මරා දැමීමට දින හතරකට පෙරය. පසුගිය 15 වෙනි ඉරිදා නි‍ෙවසේ සිට පාපැදියක නැඟී ඔහු වැල්ලම්පිටිය හන්දියට යන්නේ චතුරි ට ඇන මරා දැමීමට උල් පිහියක් මිලදී ගන්නේ ඒ අනුවය. එහිදී ඔහුට මෙගා සේල් වෙළදසළෙන් අතේ ඇති ගානට මිලදී ගැනීමට හැකියාව ලැබෙන්නේ පාන් කපන කුඩා පිහියකි. පත්තර පිටුවක එතූ එම පිහිය රුපියල් 140කට මිලදී ගත් චතුරංග එය ‍ෛවසට රැගෙන ගොස් දමා ගන්නේ සිය ගමන් මල්ලේය.

“එදා මම කැම්පස් ගියේම චූටි ව මරනවා කියල හිතාගෙනමයි. පිහියත් අරගෙනමයි මම එදා ගියේ. චූටිට කිවුවා ඔයාත් එක්ක නිදහසේ කතා කරන්න ඕනේ, අපි කැම්පස් එකෙන් එළියට යමු කියල. චූටිත් ආවා. මම මුලින්ම චූටි ව එක්කරගෙන ගියේ නිදහස් චතුරශ්‍රයට. එයාව එතැනදී පිහියෙන් ඇනල මරන්නයි හිතාගෙන හිටියේ. සෙනඟ ඉන්න නිසා මට බය හිතුණා කවුරුහරි මගේ දිහා බලාගෙන ඉන්නවා කියල. ඊට පස්සේ ඒ කිට්ටුව තවත් තැනකට ගියා. එතැනදී වැඩේ කරන්න බැරි වුණා. පස්සේ එයා එක්ක රේස් කෝස් එකට ආවා. නුග ගහ අසල වාඩිවෙලා ටික වෙලාවක් හිටියා. මම හිතුවා එතැනදී චූටිව මරණවා කියල. ඒත් මගේ දිහා කවුරු හරි හරි බලා ඉන්නවා වගේ මට දැනුණා. ඒ නිසයි ග්‍රවුන්ඩ් එකේ ස්කෝර් බෝඩ් එක ගාවට එයාව එක්කර ගෙන ගියේ. ඒ වෙලාවේ එයා කිව්වා ආයි නම් මෙතැනින් එහාට කොහේටවත් යන්නේ නැහැ කියල. මම කිව්වා මෙතැනින් එහාට යන්නේම නැහැ. මට ඔයාට සප්‍රයිස් කරන්න ඕනේ ඒ නිසයි මෙතැනට එක්කර ගෙන ආවේ කියල. එයා ඇහුවා ඒ මොකක්ද කියල. මම එයාට කිව්වා ඇස් දෙක වහ ගන්න කියල. එයා ඇස් දෙක වහ ගත්තා. මට බය හිතුණා මරන්න ඉස්සරින් ඇස් අරියි කියල. ඒ නිසා මම එයාට කිව්වා ඇස් වහන්න ඕනේ කියල. එයාත් මං කියන දේට කැමති වුණා. මම මගේ සාක්කුවේ තිබ්බ ලේන්සුව අරගෙන එයාගේ ඇස් දෙක වැහෙන්න ඒක ගැටගැහුවා. ඔය වෙලාවේ මට මතක් වුණා, චූටි මට නරක විදිහට බනින ඒවා. ඒ නිසා මම දෙපාරක් හිතුවේ නැහැ. බෑග් එකේ තිබ්බ පිහිය අරගෙන බෙල්ලට කෙටුවා. බෙල්ලේ වම් පැත්තටයි පිහි පහර වැදුනේ. චූටි කෑගහගෙන ලේන්සුන්සුව ලිහා දැම්මා. ඒත් එක්කම තව පාරක් බෙල්ලට කෙටුවා. ලේ බෙල්ලෙන් විද්දා. චූටි උදව් ඉල්ලා කෑගහන කොට මම පිහියත් බෑගයේ දාගෙන එතැනින් කැම්පස් එක පැත්තට දිව්වා“ චතුරංග ඒ මිලේච්ඡ සිදුවීම පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ දිග හැරියේ එසේය.

තුරඟ තරග පිටියේ සිට කොළඹ විශ්වවිද්‍යාලය දෙසට ගමන් මල්ල ද තුරුළු කරගෙන දිවා ආ චතුරංග අතරමගදී ගොඩවන්නේ ත්‍රිරෝද රථයකටය. එම රථයෙන් බොරැල්ලට පැමිණෙන ඔහු ගොඩ වන්නේ කිරිබත්ගොඩ බලා ධාවනය වෙමින් තිබුණු 154 බස් රථයකටය. එම බස් රථයෙන් ඔහු බැස ගන්නේ අලුත් පාලම මතිනි. නැවතත් ත්‍රීරෝද රථයකට ගොඩවන ඔහු එහි නැඟී යන්නේ කළු පාලම අසලටය.

“කෝච්චියට බෙල්ල තියන්න හිතාගෙනයි කළු පාලම ගාවට ගියේ. කෝච්චි පාරේ බෙල්ල තියාගෙන ටික වේලාවක් හිටියා. කෝච්චියක් එනකොට බය හිතුණා. ඒ වැඩේ හරියන්නේ නැහැ කියල තේරුණ නිසා ආයිමත් ත්‍රිවිල් එකක් අරගෙන ගෙදරට ගියා“ චතුරිව මරා දැමීමෙන් පසු සිය දිවි හානිකර ගැනීමට චතුරංග උත්සහයක් ගන්නේ එසේය. එය හරි නොගිය තැන නිවසට යන විට එහි සිටින්නේ නැගණිය පමණි. ඇය ඒ වන විට සිටින්නේ නාන කාමරයේය. මව්පියන් ගැන නැගණියගෙන් විමසන චතුරංග සිය මුදල් පසුම්බියත් ජංගම දුරකතනයත් ලේ තැවුරුණු බෑගයත් නිවසේ තබා පිටතට යන්නේ හැඳ සිටි ඇඳුම් පවා උනා දමා අලුත් ඇදුමක් ඇඟලාගෙනය.

කැලණි ගඟ ගලා බසින්නේ චතුරංග පදිංචි නිවසට කිට්ටුව පාතිනි. චතුරංග ගමන් ගත්තේ කැලණි ගඟ දෙසටය. ඒ ගොස් පළුගම අසලින් ගඟට පනින්නේ සිය දිවි හානිකර ගන්නට සිතාගෙනය.

“ ගඟේ ගිලෙනකොට ලොකු බයක් හිතට ආවා. දෙවැනි පාර ගිලෙනකොටම අත්තක් අල්ලගෙන ගොඩට ආවා. ඉවුරේ ඉදගෙන කල්පනා කලා මොනවද කරන්නේ කියල. මැරෙන්නමයි හිතුනේ. ආයිත් පාරක් ගඟට පැන්නා. ඒ වෙලාවෙත් මැරෙන්න බයක් හිතට ආවා. මම බයවෙච්ච පාරට කෑ ගැහුවා.“ චතුරංගගේ එම හඩින් ගඟට පැන ඔහුව ගොඩට ගන්නේ ඒ අසල ගං ඉවුරේ රැඳී සිටි පුද්ගලයෙකි. ඔහු හොඳවයින් දෙකක් කියා චතුරංගට අමතන්නේ නැවත කැලණි ගඟ පැත්තේ එන්නට හිතෙන්නේ නැති වන්නටය.

එසේ තෙවැනි වතාවටත් සිය දිවි හානිකර ගැනීම වැළකී යාමෙන් පසු චතුරංග තෙත බේරෙන ඇදුම් පිටින් ත්‍රීරෝද රථයක නැඟී නිවසට එන්නේ සිය නිවෙසේ බාල්කයක එල්ලී සිවුවැනි උත්සහයත් ගන්නට සිතාගෙනය. එහෙත් ඔහුට බාල්කය දිහා ඇහැක් අර බලන්නටවත් ඉඩක් නොවීය. කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් එහි පැමිණ චතුරංගව කුදලා ගෙන රැගෙන යන්නේ තවදුරටත් ඔහුට සිය දිවි හානිකර ගැනීමට කිසිදු ඉඩක් නොතබා චතුරිගේ ඝාතනයේ අභිරහස ද විසඳමිනි. ඒ සිවු දිනක් සැලසුම් කර, සිවුදිනක් තිස්සේ උත්සාහ කර, සිවු තැනකට රැගෙන ගොස් චතුරි මරා දමා වාහන හතරක මාරුවෙන් මාරුවට නැගී පළා ගොස් සිවු වතාවක් සිය දිවි හානිකර ගැනීමට ද උත්සාහ ගත් ඔහු අත්අඩංගුවට පත්වෙන්නේ ද සවස හතරටය.

ගයාන් කුමාර වීරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here